Saturday

දික්කසාදයෙන් වසරකට පසු

 

දික්කසාදයෙන් වසරකට පසු

දුටිමි මම ඔබව

බස් රියේ කෙළවරක

එල්ලී  සිතිවිල්ලක ...

 

දඟකාර කෙහෙරැලි මුව පුරා විසිරුන

චුටි දූගේ  අත තදින්  අල්ලගෙන

දවටා එළවලු මල්ලක් ඇඟිලි කරුවක  ,

පොඩි පුතුට රස කැවිලි .....

ඔබ ඔහේ බලාගෙන උන්නා

හීන් සීරුවේ  ඇදෙන විට බස් රථය ...

 

නාය ගිය කඳු අතර 

ඉකි ගසා  ඇදෙන විට බස් රිය

වාරු නැහැ  එහෙ මෙහේ ඇඹරෙමින් පැද්දෙමින්

නොවැටී සිටින්නට

වෙහෙස ගත්තා නුඹ

 

නොමේරු  කඳුගැට පවා

මහපොළොවේ බර දරණ

විහිදුවා සිහින් හසරැලි  

සිඟිති මුව මඩල  මත

 

සංසාර නැවතුමක

 නැවැත්වූ විට බස් රිය

නොපෙනී ගියේ නුඹ

 දුහුවිලි වලාවක් මැද ....

 

බොහෝ දුර අතීතෙක

බස් රියක  කෙළවරක

දිගටි නුඹ දෑස් යුග 

ඇහි පියන් අතර  සිර කර 

අනිමිස කළා සිහිවිය මට ..

කරබා ඇදී යන වලාකුලක් මෙන්

ජිවිතේ ගලා ගොස් කාලයක්

වෙන් වී එක්තරා මොහොතක

සදහටම

 

අකීකරු කෙහෙරැල්ල

සවනතේ  දවටන්න

බර මල්ල කරට ගෙන

ලංව  දොඩමළු වෙන්න

සසල කඳු අතර නුඹ

බැස ගිහින් ඇතත් දැන්

කොතෙක් දුර ගොස් ඇතිද

දුහුවිලි වලාවට මැදිව ...................!

 

Thursday

කියන්නට කතාවක් !



කිසිවෙකුටත් නොවැටහෙන
මේ විසල් විශ්වයේ
සසරින් සසරට ගලා යන
සහසකුත් කතා අතර
මට ද විය කතාවක්
කියන්නට ඔබට.....
මීට  දිගු කලකට පෙර
මියැද  ගිය හදවතක
සැඟව හුන් කතාවක්!
රැයක් දවාලක් නොදිසි
අඳුරු කළු අතීතෙක
පණ  ගැහුණු කතාවක්...

ගැහි ගැහී හෙමි හෙමින්
හුස්ම බිඳ ගලා ගිය
අවසාන පණ පොදත්
ලෝකයට මුහුව ගිය
නොඇසුවෙන් කිසිවෙකුත්
රහසින් ම  මියැද ගිය
හදවතක කතාවක්
තිබුණි මට කියන්නට

ගංගාව ගලා යයි නිහඬව ම
තරුවක් ද එල්ලී හිඳියි
කරබාගෙන දුකින,
සංසාර නැවතුමක් ඇතිය
කොහේ හෝ තැනක
එතැන දක්වා නුඹ ද
දිනෙක පියමනිනු ඇත !!!
සිහිනයට අයිති ඒ  නොහඳුනනා දිනයට ම
ඔබට කියන්නට ,කතාවක් තිබේ මට ...!!!

Monday

සංසාර බන්ධන


සංසාර  බන්ධන
මොහොතකින් නිමා වෙයි
කාලයක් හදවතම
ගින්නෙන් දවාලන ලද
මගේ ආත්මයේ  අවසානය

එහෙත් ,ඔබ සමග .....!

සියලු ආලිංගන නිමා වී
දහදියෙන් තෙත් වූ
නුඹේ දැස් දෙස බල සිටින විට
හඳුනා ගත්තෙමිය...

මට අයිති මගේ නොවෙන
නුඹේ දෑස් දෙස බලා අනිමිස කලෙමි මම
කොතැන හෝ යම් වැරද්දක්....!
.
මිට දිගු කාලෙකට පෙර
සංසාරයේ මුල් ඇරඹුමේ දීම
හමු වූ වෙනත්  හුරු පුරුදු දැසක්
සිහි විය මට ඒ මොහොතෙම....

මිය ගොසින් , කාලයක් ගතව ගිය ද
අන්තරා භවයෙදී පවා මම පෙම් කළ
හදවතක මතකයක්
සිහිවිය මට ඒ මොහොතෙම...

සියලු දේ හමාරව
හෙමිහෙමින් හිරු නගින විට
මිට පෙර මා ඉදිරියේ මියැද ගිය
අසිරිමත් නුඹේ දෑස් සිහිව
දෑස විවරව කඳුළු කැට
සීරුවෙන් වැටෙන්නට විය ...
අවසානයට ලංවෙමින්  තිබු සංසාරයද
යළිත් දිගු විය......!


Saturday

සෑම දේ ගැනම ඔහුට තිබුනේ පිටස්තර  හැඟීමකි. සෑම රටකම ඔහුගේ උපන් රටේදී පවා ඔහුට මෙම කාල්පනික  ලෝකයේ නිරතුරුවම සැරිසරන පුරුද්ද අත්හැරීමට අපහසු විය.ජීවීතය නොවැදගත් යයි කිසිදිනෙක නොසිතුව ද එහි පවත්නා සදාතනික වටිනකාමක් කිසිදිනක ඔහුට මුණනොගසුනි. එදිනෙදා හමුවන මිනිසුන්,අහල්‍යා , බලු දණ්ඩා ද ජිවිතේ වැදගත් පාර්ශවන් බව කිසිදා ඔහුට හැඟී  තිබුනේ නැත.  කිසිදු ලෙසකින්වත්  සතුටු වීමට , මාර්ගයක් සොයා ගත නොහැකි විය.

සරන්යා ඔහුට නිතරම කතා කළාය. ඇය සිහින් හඬින් ජීවිතය ආදරය ගැන රාත්‍රිය පුරා දොඩවන විට සමහර දාට ඔහුට නින්ද ගොස්  තිබුනේය.ඇය සමග කතා කරන්නට ඔහුගේ අකමැත්තක් නොතිබුණ ද එය  දිගු වන වන තරමට  ඔහුගේ සිතිවිලි වෙනත් මංමාවත් වල ඇවිදින ඉක්මන ද වැඩිය. ඇය සමග  කාලය ගත කරන බොහෝ විට ඔහුට අහල්‍යා සිහියට නැගුණි.එදින හවස වැඩට ගොසින් ඇවිදින්  තේ බොන විටත්, මහ රැ ලියුම් කියුම් කටයුතු අහවර වී නින්දට යන විටත් ඔහුගේ සිතෙහි අහල්‍යා ගේ  හඬ රුව හැම විටම අවදි ස්වරූපයකින්  පසුවිය. සමහර දිනවලදී ඔහු අහස දෙස බලා යාච්ඤ  කරමින් සිතෙහි සුපහන් භාවය පැතුවේය. එසේ අහස දෙස බලා සිටින විට දෙවියන්ට වඩා ඔහුගේ වැසුනු දෑස්  තුල ඇඳී තිබුනේ අහල්යා ය. සරන්යා ඔහුගෙන් ආදරය ද සමග  බාහිර ආටෝපය ද  අපේක්ෂා කරන් බව ඔහු දන්නා නිසා ඇයගේ උපන් දිනයට විශාළ මල් කළඹක් ඇයට තෑගී කළේය.ඇය ඔහුට ස්තුති කරමින් දිගු ලිපියක් ඒවා තිබිණි.

ඔබට මාව මතක් වෙනකොට  මොන වගේ දෙයක්ද දැනෙන්නෙ?
පපුවේ වම් පැත්තෙන් හීනියට මොකෙන් අරි අනිනවා වගේ හැඟීමක්.මට හරියටම කියන්න තේරෙන්න නැහැ.
ඒ කියන්නේ මම ඔයාට වේදනාවක්.මොකකින් හරි අනිනකොට තුවාලත් වෙනවනේ?
නැහැ තුවාල වෙන්නම වෙන්නම නෙවි.ඇත්තටම කියනව නම් සීරීමක් වගේ ....!

මං මෙතෙක්  කල් සම්මත සමාජයෙන් වෙනස් වීම නිසා බොහෝ වේදනාවන්  වින්දෙමි. නමුත් දැන්  ,ඒ සියලුම වේදනාවල  රසයක්  තිබු බව මට හැගෙයි. ඔහුගේ ප්‍රේමය ගැන අහල්‍යා අංශු මාත්‍රයක් නොදැන සිටි කාලය තුල ඔහු වින්ද වේදනාව ,ඇයද ඔහු හට ප්‍රේම කරන බවට කියූ පසු දැනුන සිතිවිලි වලින් ඔහු අපැහැදිලි රසයක් විඳි බවට වඩාත් ඔහුට  පසක් විය.ඔහුට හදන්නට හෝ සිනාසෙන්නට අවශ්‍ය නොවිය. සිත රික්තකයක් මෙන් හිස් ව ශුන්‍ය ව පැවතියේ ය.
ඇයගේ මරණය ඔහු අපේක්ෂාවෙන් සිටි  දෙයක් ලෙස සිතුනේය. හදවතෙහි  යම්දෙයක්  සිර වී තිබෙනවා මෙන් ඔහුට දැනුනි. ඇය මිය ගියද අතීතය හා අනාගතය තුනී ලෙස යා වුනු බලාපොරොත්තුවක් ඔහුගේ සිතෙහි පැලපදියම් ව  තිබුනී.
මේ විශ්වය තුල ලක් ෂ ගණනින් කොටි ගණනින් මිනිසුන් ඉපද මියයති. ඉපදුනු දා පටන්ම ඔවුහු  ජිවත් වෙන්නට සිහින දකිති. ඒ සිහින තුල ම අවසානයේ  මියදෙති. ඔවුන්  අපේක්ෂා කරන  නිදහස කිසි දිනෙක සැබෑ ස්වරුපයෙන් අත්විඳින්නට නිහැකිය. සොබාදහම මිනිසුන් රවටන බව ඔවුන් නොදනිති.එය අවබෝධ කරගත් සීමිතයද නොදන්නා සේ රඟ දක්වති. ඔවුන්  මේ මුලාවට හසුව ජීවිතය පුරාම දුක් විඳිතී.

ඔහු හඬන්නට උත්සහ කළ ද එය කිසිම අපහසු  විය.අහල්යාගේ මරණය  කිසිදු ව්ශේශ  බලපෑමක් ඇති  කලේ  නැති බව  ඔහුට වැටහුණි.- මේ ලෝකය විවිධාකාර දේවල් වලින් පිරි ඇත. සමහරඅයට ප්‍රේමය හමු ව ඇතත් එය විඳීමට හෝ අවබෝධ කර ගැනීමට වාසනාව උදා නොවේ. සමහරෙක්ට  එය තම ජිවිත කාලය තුල කිසිදාක හමු නොවේ. එහෙත් ආදරය යයි සිතා කාට හෝ ලංව ඉදිරි ජීවිතය ගෙවති.දරුවන්ද හදා වඩා ගනිමින් තම රාජකාරිවල නිරත වෙති.එහෙත් ඔවුන්ගේ හිත තුලට තේරුම් ගනිමට අපහසු  අරුම පුදුම සිතිවිළි ජාලාවකට ඉඩ හසර තිබු බවවත් ඔවුන්නොදනිති,එය නොදැනගැනිමෙහි ද වරදක් නැත. දැනගත් විට වඩාත් රසබර යිසිතුවද අවසානයේ එහි ඇත්තේ වේදනාවකි.  තේරුම් ගත්තද  නොගත්තද ප්‍රේමය එලෙසම ලෝකයේ පවතිනු ඇත. මිනිසුන්ගේ ද ජිවිත නන්විධ සිතිවිලි මතින්  බොහෝ පරම්පරා ගණනක් ඔහේ ගලා යනු ඇත. 

Tuesday

මගුල සහ තිත .

අවුරුදු  තුනක් නැත්නම් හතරක්
ඔබ ආයෙමත් එයි කියල
හැමදාම  නැතත් පුරුද්දකට වගේ
බලාගෙන හිටිය මම..
හදිසියේම දවසක ආව ඔබ
කලින් නොතිබුණ
මනින්නට අමාරු
අපැහැදිලි දුරකුත් එක්ක..

කලින් දවසේ අසයිමන්ට් එකට නිදි මරල
එක්සෑම් අතරේ එක්සිබිෂන් පොත් බලන්නත් ගිහින්
ඔලුවේ කැක්කුමයි නින්ද ගියා මට
හොස්ටල් එකේ ඇඳ උඩම....
ඔබ හිතුවේ මං ඔබට ආදරේ නෑ කියල
‘මල් කැඩුවලු’ මම
දුකක් දැනුනත් ඇස් දෙකම හෙමිහිට  පියාගෙන
‘ආදරෙයි’ කීවාම
‘දන්නවා මම,මගුල් කතා කරන්න එපා”!
අන්තිමට ඔබ කීව්වා..

මගුලක් වගේ ඉන්න ඕනි ජිවිතේ
හැමදාම දුක් විඳගෙන
යාලු නොවුන කැම්පස් කෙල්ලන්ට කියන ,
දාහක් දේ ඉවසගෙන,
හවසට හොස්ටල් ජනේලේ රෙදි වැල්  අතරින්
ඉරත බහිනවා පෙනෙද්දී
ගොඩක් දවස්වලට  ඇඩුණ මට ...
                                         -ආයේ මගුල් දේවල් කිවේ නෑ මං ඔබට-

එදා ගත්ත පොත් ටික
වැකේෂන් එකේ කියෙව්ව මම

ජිවිතේ කැඩිලා බිඳිලා
දිරාපත් වෙලා ගිය දේවල් ගැන
මිනිස්සු ලියල තියන තරමටම ,
මගුලක් කියල ජිවිතේ  වැළඳගෙන  ,
මගුල්මත් නොවෙයි , අවමගුල් ද නොවෙයි...
 සොහොනක්ම කරගෙන ලියල තියන තරමටම ,

තේරුනා මට ,
මට ඔබත් ඔබට මමත්
තිතක්ම විතරයි
ඒ හැම කතාවක් ළඟම ..!!!!!!

Sunday


ජීවිතයේ අන් හැමදේම අතරින්
ඇයි නුඹේ ප්‍රේමයට මේ තරම් අවමයක්
අවසාන වූ හිතක යළිත් අවසානයක්
දැන් ඉතින් නික්ම යන්නෙමි මමත්..!

සසරක් පුරාවට
නුඹම  සොයමින් සැරිසරන්නට
යශෝධරා නොවෙමිය මම
නෙත් අඳ ව ගිය ඉන්ද්‍රජාල ප්‍රේමයකින්
හදවතේ මුළු වියමනම බැඳ
අපාර වූ මේ සසර කතරම
නුඹ ම පතමින් සැරිසරන්නට
යශෝධරාව නොවෙමිය මම

මෙතෙක් ලද අන් හැමදේම ළඟ
හරිම වැඩියෙන් ලැබුනෙත් නුඹයි
අහිමි වී ගිය සියල්ලම ළඟ
වඩා අහිමිව ගියෙත් නුඹමයි
ලොව පැවති බොහෝ දේ
යම් තැනක නැවතුනා සේ
මෙතෙකින් නවතිමි මමත් ....!

2015-06-26 

Saturday

අන්තිම කැමැත්ත


මිය යන්න ආසන්න  ගිම්හාන බොල් අහස
මේ තරම් සුන්දර ද ඇත්තටම විහඟුන්ට
ශුෂ්ක කටු පඳුරු මත පිනි පොදක් වැටුනාට
හැකිවේද නිවන්නට මුළු මහත් ඉඩෝරය

වියලිලා ඉරි තැළුණු උණ ගැණුනු හදවතට
ඔසු සොයන් නොයන්නෙමි සුව නොවන බව දනිමි
හැර දමා යනු රිසින් අවට ඇති හැමදේම
සහනයකි හදවතට මරණයක් පැමිණීම

ගිම්හාන සැදැවක රතු පොළොව කෙලවරක
පස් පිදෙලි එකින් එක නොදැනෙන්න පෙරළන්න
තැන තැනම විසිර ගිය ගව මිනිස් ඇට අතර
ඉඩක් ඇති තැනක් ළඟ මගේ හිත වළලන්න...!!!