දික්කසාදයෙන් වසරකට පසු
දුටිමි මම ඔබව
බස් රියේ කෙළවරක
එල්ලී සිතිවිල්ලක ...
දඟකාර කෙහෙරැලි මුව පුරා විසිරුන
චුටි දූගේ අත තදින් අල්ලගෙන
දවටා එළවලු මල්ලක් ඇඟිලි කරුවක ,
පොඩි පුතුට රස කැවිලි .....
ඔබ ඔහේ බලාගෙන උන්නා
හීන් සීරුවේ ඇදෙන විට බස් රථය ...
නාය ගිය කඳු අතර
ඉකි ගසා ඇදෙන විට බස් රිය
වාරු නැහැ එහෙ මෙහේ ඇඹරෙමින්
පැද්දෙමින්
නොවැටී සිටින්නට
වෙහෙස ගත්තා නුඹ
නොමේරු කඳුගැට පවා
මහපොළොවේ බර දරණ
විහිදුවා සිහින් හසරැලි
සිඟිති මුව මඩල මත
සංසාර නැවතුමක
නැවැත්වූ විට බස් රිය
නොපෙනී ගියේ නුඹ
දුහුවිලි වලාවක් මැද ....
බොහෝ දුර අතීතෙක
බස් රියක කෙළවරක
දිගටි නුඹ දෑස් යුග
ඇහි පියන් අතර සිර කර
අනිමිස කළා සිහිවිය මට ..
කරබා ඇදී යන වලාකුලක් මෙන්
ජිවිතේ ගලා ගොස් කාලයක්
වෙන් වී එක්තරා මොහොතක
සදහටම
අකීකරු කෙහෙරැල්ල
සවනතේ දවටන්න
බර මල්ල කරට ගෙන
ලංව දොඩමළු වෙන්න
සසල කඳු අතර නුඹ
බැස ගිහින් ඇතත් දැන්
කොතෙක් දුර ගොස් ඇතිද
දුහුවිලි වලාවට මැදිව ...................!
1 comment:
හිතට දැනුණා ඒ පද පෙළ.ළයාන්විත හැඟුම්බර ඒ පදරුත්....තව ලස්සන අර්ථවත් පද ගොතන්න..පාඨක අපිට සැනසෙන්න.💖💖💖💖💖
Post a Comment