Sunday

මතකය..!!

බොල් අඳුර ගලා'විත් කවුළු දොර අබියසට
මට රවා නින්ද අරගෙන ඉගිළ යන විටක
සෙමින් එකිනෙක සැලෙන පොත් පි‍ටු ද අතර ඔබ

කවි වැලක් සේ පෙනුනි අකුරු අතරෙහි ‍රැඳුන

මොහොතකට කවුලු දොර දෙස බලා සිනාසුන
හිරිකඩය සුලං ‍රැලි පෙළා මා ගත ‍රැඳුන
හදිසියේ අවදි වුණ විලස මා ඔබ දෙසම
දෙනෙත් නොපියා බලා සිටි අයුරු දෝ මතක

පොතේ පි‍ටු අතර ‍රැඳි දහස් පද වැල් අතර
සිහි නොවුනි ඔබව මට මෙබඳු මොහොතක මිසක
එහෙත් මේ හදිසියේ මන්ද ඔබ මා හදට
පිවිසුනේ ඇද හැලෙන පොහොන් වැස්සක් ලෙසට

එදා අවුරුදු ගණන් පෙරදි මා ඔබ හමුව
ගෙවී ගිය සොඳුරුතම මිහිරි වූ ගී වැල්ය
දිනෙන් දින ඉරි තැලී ගිය මගේ හදවතම
අදත් ඔබ නමින් ඉඩ තවත් ඇත්තේ මන්ද

ලෝකයේ කොතැන හෝ මා නොහඳුනා තැනක
සරණු ඇත ඔබත් පෙර මතක නටබුන් අතර
ඉගිල යන පවනකට ඔබෙ හුස්ම එකලු කර
හදට සුසුමක් විලස ගලා යයි හද තුලට

මීට දිගු කලක පෙර මිහිදන්ව ගිය මතක
සොයා හද බිම කණිමි පහන් වන තුරා ‍රැය
කොහේ හෝ නිසංසල තැනක සැඟවී යලිත්
පෙනෙයි ඔබ දහස් ගණනින් ලියූ අකුරු මැද

ආදරය තනිකඩව ඉකි බිඳින සුසානෙක
ඔබ නමින් ලියැවේවි ජීවිතේ සොහොන් කොත
පුංචි ඉටි පහනක්ව යලිත් හිත ළඟට'විත් 

හුදකලා සිහිනයට එළිය වී හිදිනු මැන...!!!
2012.05.03

No comments: