Thursday

නිහඬ සෙනසුනකට පෙම් බැඳ..!!

සිත සුවපත් කරන ඒ අපූරු ස්ථානයට තවමත් වරින් වර සිත


දුවයි.තිගැස්මකින් වාගේ අහම්බයකින්  නුහුරු අරණට ගිය පසුව එහි ලැගුම් ගත් සෞන්දර්යයෙන් නිසගයෙන්ම සිත සුවපත් විය..මා මෙතෙක් දු‍ටු අපූරුතම සුන්දරතම ආරණ්‍ය නම් එයයි....
රක්වාන සූරිය කන්ද ප්‍රදේශයේ වංගු දහය ආශ්‍රිතව එක්තරා  වංගුවක් අසළ මෙය පිහිටා ඇත.
ජීවිතයේ ලැබූ නොලැබූ දේවල් ගැන සිහි කරමින්, සංසාර වන්දනාවේ  කෙළෙස් සීමාවන්, බැඳීම් මත නන්විධ වේදනාවන්ගේ ‍රැහැන් වලින් බැඳී ඇති මිනිසාට සිය හදවතට  මොහොතක හෝ නිදහස් සුවදායී බවක් ළං කර ගැනීමට මේ අරණේදී ඉඩ හසර නිරායාසයෙන්ම ලැබෙයි.ගව් ගණන් පුරාවටම ඈතට විහිදී යන නිල් පැහැ ගත් සබරගමු කදු යාය ,නන් දෙසින් හමා එන සීතල වූ සුළං  ,මල්,පලතුරු,දිය දහරා ,ඇතට විහිදී යන තණ පලස් ආදි නොයෙක් නිර්මාණයන් අතර ලෝකයේ නොයෙක් දෙසින් පැමිණි  සිත් තම හිත සුව පිණිස උතුම් වූ නිහඬ බවකට සම වැදී   බවුන් වඩති.,ථේරවාද  බෞද්ධ දර්ශනය පවත්නා රටවල් මෙන්ම  මහායාන සෙන් දහම අදහනා රටවල් ද,යුරෝපීය රටවලින් ද පැමිණි අය මෙහි හිද බවුන් වඩති.ඔවුන් තුල ජීවිතය ගැන පවත්නේ කුමන ආකාරයක මතයක් දැයි නිගමනය අපහසුය.කෙසේ වුවද ජීවිතය ,විශ්වය හා ගැබුරු දර්ශනයන් ,විවිධ ආගම් දර්මයන් ගැන ඔවුන් දන්නවා විය යුතුය.එසේ නොවේ නම් ඔවුහු නිහඬ සෞන්දර්යයවාදින් විය යුතුය.කුඩා අරණ පුරා තනා ඇති කුඩා කුටි වලට වී ඔවුහු බාවනා කරති.සිත පිළිබඳ ව හදාරති.සාමාන්‍ය තත්වය ඉක්මවා යන වැටහෙන නුවණක් හා අතිශය සරල,නිදහස් සුපසන් මනසක් ඔවුන්ට ඇත.ගැබුරු දර්මයන් තුලින් ආධ්යාත්මික සංවරයක් පියවරෙන් පියවරට අත්පත් කර ගන්නා ඔවුහු අවට දක්නා සොබාදහමේ අපූරු වූ කැටයම් තුලින් කලාත්මක විදර්ශනාවකට සම වදිනවා ඇත..
අවට පවත්නා අජීවී සෑම දෙයකට ම ජීවත්වය අරෝපණය වී තිබේ.මෙහි පැමිණෙන්නෙකුගේ මානසික වික්ෂෝපය නැති ව යයි.ලෝකය හා ආත්මය ඇතුළු නන්විධ දේ ගැන ගැබුරින් පරිචයක් නොලැබූවද මේ  නිහඬ සෙනසුන දෙස බලා සිටීමද එක්තරා විදියක හිත එකලස් කර ගැනීමකි......
මේ සොදුරු වන පියසේ අපිරිමිත චමත්කාරයන්  අසළ ‍රැ‍ඳෙන විට මට මතක් වූවේ විභූතිභූශන බන්දූත්පද්්‍යන්ගේ "අරණකට පෙම් බැඳ" පොත.සොබාදහම හා ළං ව විසූ ඔහුට මේ ලෝකයෙ විස්මිත නිර්මාණ ගැන කෙසේ නම් හිතෙන්නට ඇතිද?හඳ පායා එන දවස් වලට ඔහු තනිවම මෝහනපුරා රක්ශිතය ගොස් අහස දෙස බලා හිඳී.එදා මෙදා තුර ලෝකයේ විසූවන්ගෙ මතකයන් ,සිතිවිලි මුසු වූ සුළඟ ඔහු අදහන්නේ පූජනීයත්වයෙනි...
මේ බිමද එසේය..අවට පවත්නා සැම දෙයකම පූජනීයත්වය්ක් ගැබ් වී ඇත.
සැම තැනම සරල බව,නිහඬ බව පිරී සියල්ලම සැබැවටම ජීවත් වෙති.හුදකලාවට පෙම් බඳින්න්නන්,සෞන්දර්යවාදීන්,ආධ්්‍යාත්මික සුවය පතන්නන් මේ අරණට නිරාමිසව පෙම් බඳිති.
මමද පාසි වලින් වැසී ගිය ගල් තලාවක් මතට වී අවට පවත්නා සිත්කලු වූ කඳු යාය දෙස බලා සිටියෙමි.සුළඟ සමග මුහු ව එන මා වඩාත් කැමති පිච්ච මල් සුවඳ නාහෙන් එතුලුව හදවතට කැවී යයි.මට  දෙවෙන්දොරා හා නොරිකෝ සිහි වෙයි.ඔවුහුද පරිසරයට ආදරය කරන අයයි.ඉනූකශිරා උයනේදී ඔවුහු විදින්නට ඇත්තේ දැන් මා විදින සුන්දරත්වය විය යුතුය..ඔවුහු කලාවට ආදරය කරන අපූරු හදවත් ඇති දෙදෙනෙකි .ජීවිතයේ සෞන්දර්යය වටිනාම දෙය යයි ජපන්නු අදහති.එය දුරස් ව ගිය කල ඔවුහු ස්වකීය ජීවිතය නැති කර ගනිති.ලෝක පූජිත කලාකරුවන් වූ අකුත ගාව රියිනොසුකි,ශයූ නවකතාව ලියූ දසෛ ඔසමු මෙලෙස ජීවිතයේ සෞන්දර්යය ‍රැක ගැනීමට දිවි නසා ගත්හ.සමාජ දෙවාරමක විසූ අපූරු පෙම්වතෙකු වූ දෙවෙන්දොරා නම් සිත්තරා ද දිවි නසා ගත්තේය.


"ඇයි සිය දිවි නසා ගන්න ඕන නම් මීට වඩ ලස්සන තැනක් හොයා ගන්න බැරි උනේ.ෆූජි කන්ද මීට වඩා නරකය?" -නොරිකෝ සං-
"මා වටා මිනිසු  දහස් ගණනින් සිටියද මම හුදකලාවෙන් පසු වෙමි.කිසිවෙකුගේ ආදරය සැලකිල්ල මට නුරුස්සයි.කිසිවෙකු මට ආදරය නොදක්වතොත් මැනැවයි  මට සිතෙයි.එය වඩා ලොකු සැනසීමකි,දිවි නසා ගැනීමේ සිතිවිලි මා තුල උපන්නේය.මේ පරිසරයෙහි එය නින්දාවක් ලෙස නොගැනේ.මෙහි ජීවිතය මෙන් ම මරණයද රමණීය ය.නොරිකෝ මට ජීවිතයේ සෞන්දර්යය මෙන් ම මරණයේ සෞන්දර්යය ද පෙන්වා දුන්නාය.කෙනෙකු දිවි නසා ගන්නේ ජීවිතයේ සෞන්දර්ය ‍රැක ගැනීමට ය.කෙනෙකුගේ ජීවිතයෙන් පොදු සෞන්දර්යය කිලිටි වේ නම් ඒ පොදු සෞන්දර්යය කිලිටි කරමින් ජීවත් වීමට වඩා එය නිර්මල ව තිබෙන්නට ඉඩ දී තම නැති වී යාම යෙහෙකි."
 -දෙවෙන්දොරා සං-  (මළ ගිය ඇත්තෝ)

සංස්කෘතියෙන් සංස්කෘතියට, පුද්ගලයාගෙන් පුද්ගලයාට, කාලයෙන් කාලයට මේ අදහස් නන්විධ විපරිණාමයන්ට බඳුන් වෙති.ඒත් ලෝකය කාලයත් සමඟ ගලා යයි.මේ අරණේ බවුන් වඩන සිත් මේ ගැබුරු සත්‍ය දන්නවා ඇත.මට එය නොවැටහේ.මා දන්නෙ මේ අපූර්වත්වය ,හුදකලාව විදීමට පමනි..මට මේ දේ කීමට අවැසි විය.කාට හෝ..මෙනයින් මම ලීවෙමි.,,මම ද ඒ හුදකලා සෙනසුනට නිරාමිසව පෙම් බඳිමි....!

2013-09-19

 



No comments: